අද අපි බලමු අපේ FPV Drone එකකට හරියටම මෝටර් එකක් තෝරගන්නේ කොහොමද කියලා...


ඩ්‍රෝන් එකට මෝටර් එකක් තෝරගනිද්දී අපි මූලිකවම බලන්න ඕන කරුණු ටිකක් තියනවා,  ඒ ටික හරියට තේරුම් ගත්තොත් අපිට ගැලපෙන අපි කැමතිම මෝටර් එකක් අපි ලග තියන ගානේ හැටියට මිලදී ගන්න පුලුවන්...
(මං මේ ලිපියෙදි කතා කරන්නේ Brushless Motors ගැන විතරයි, Brushed Motors ගැන අපි ඉස්සරහට කතා කරමු)

                      01   Motor size එක
                      02   Motor KV අගය
                      03   Motor Voltage එක සහ Current Draw එක
                      04   Motor Thrust එක

මීට අමතරව තව පොඩි පොඩි කරුණු ටිකක් තියනවා මේ මෝටර් ගැන.. ඒ ටිකත් මම පොඩිවට පැහැදිලි කරන්නම්, උඩ තියන මූලික කරුණු හතරට පස්සේ..

         Bottom වර්ගය
         Bottom Clip වර්ගය
         Prop හයි කරන ක්‍රමය

හරි අපි දැන් මූලික කරුණු ටික ගැන බලමු.....


01 ) Motor size එක...

සාමන්‍යයෙන් අපේ මෝටර් එකක සයිස් එක අදුන්වන්නේ අංක හතරක් තියන අගයකින්. උදාහරණයක් විදිහට 2207 / 2208 / 1104 / 2306 වගේ කියන්න පුලුවන්.. මේ අගය හැදෙන්නේ මෝටර් එකේ Stator (Stator එක කියන්නේ මෝටර් එක ඇතුලේ කොයිල් එක ඔතලා තියන කොටස) පළල සහ උස මිලිමීටර් වලින් එන ගානයි..  උදාහරණයක් කියනවා නම් 2207 කියන්නේ මෝටර් stator එකේ පලල මිලිමීටර් 22යි, උස මිලිමීටර් 07යි,  


Photo credit - Oscarliang.com


එතකොට අපිට ගැලපෙන සයිස් එක තෝරගන්නේ කොහොමද ?
මෙහෙමයි ඒකට අපි ඩ්‍රෝන් එක හදන්න කලින් අපි තීරනය කරන්න ඕන අපි හදන්නේ මොන සයිස් ඩ්‍රෝන් එකක්ද , ඒක  2 inch - 3 inch වගේ පොඩි එකක්ද / 5 inch - 6 inch වගේ මධ්‍යම ප්‍රමාණයේ එකක්ද / 7 inch හෝ ඊට වඩා ලොකු ප්‍රමාණයේ එකක්ද කියලා..  

දැනට මෙන්න මේ චාර්ට් එක බලන්නකෝ.. මේකෙන් තෝරගන්න පුලුවන් ෆ්‍රේම් එකේ සයිස් එකට ගැලපෙන මෝටර් එකේ ප්‍රමාණය..


02 ) Motor KV අගය...

Motor KV අගයෙන් තමයි අපි ලග තියන මෝටර් එක කැරකෙන වේගය තීරනය කරන්නේ. මොකද මෝටර් එකට අදාල වේගයෙන් තමයි අපේ ඩ්‍රෝන් එක උඩ යනවද නැද්ද කියලා තීරනය වෙන්නේ. මෝටර් එක කැරකෙන වේගයට අදාලව propeller එක කැරකිලා ඒකෙන් පහලට එල්ලවන වායු පීඩනය නිසානේ ඩ්‍රෝන් එක උඩට යන්නේ.. ගොඩක් අය මේ KV කියන එක Kilovolt කියලා කියනවා, ඒත් ඒක සම්පූර්ණයෙන් වැරදී,  Kilovolt එකක් මෙතනට අදාල වෙන්නෙ නැහැ. මෝටර් එකකදී KV කියන්නේ ඒ අගයට අදාලව නිකන්ම සංකේතයක් විතරයි..

හරි අපි බලමු දැන් KV අගය ගනන් කරන හැටි...

අපි ගන්න මෝටර් එකට අදාලව මෝටර් එකේ ගහලා තියනවා KV ප්‍රමාණය. උදාහරණයක් විදිහට කියනවා නම් 1700KV , 2300KV, 2450KV, 3100KV වගේ විවිධ අගයන් ගොඩකින් මෝටර් එනවා.. ඉතිං මෙතනදී මේ අගයෙන් කියවෙන්නේ අපි මෝටර් එකට දෙන විදුලියෙන් 1V (වෝල්ට් එකක්දී) මෝටර් එකක් කැරකවෙන වට ගානයි..

1700KV මෝටර් එකක් නම් 1V දුන්නම මෝටර් එක විනාඩියකට වට 1700ක් කැරකවෙනවා. ඉතින් අපි ඩ්‍රෝන් එකකට දෙන්නේ 1V නෙවෙයිනේ. අපි පාවිච්චි කරන 3S බැටරි (බැටරි ගැන ඉස්සරහට ලිපියක් එනවා) එකක් ෆුල් චාජ් උනාම 12.6V තියනවා. එතකොට ඒකට 1700KV මෝටර් එකක් හයි කරනවා කියන්නේ 1700 x 12.6 ක වට ප්‍රමාණයක් මෝටර් එක කැරකවෙනවා. හරියටම කියනවා නම් විනාඩියට වට 21420ක් කැරකවෙනවා..


එතකොට ඩ්‍රෝන් එකට ගැලපෙන මෝටර් එක තෝරගන්නේ කොහොමද ?

මෙහෙමයි අපි හදන්නේ පොඩි ඩ්‍රෝන් එකක් නම් අපි ගන්න ඕන වැඩි වේගයක් තියන මෝටර් එකක්, අපි හදන්නේ ලොකු ඩ්‍රෝන් එකක් නම් අපි ගන්න ඕන අඩු වේගයක් තියන මෝටර් එකක්.  ඒකට හොදම උදාහරණය තමයි රාජාලියා සහ පැණි කුරුල්ලා. මොකද රාජාලියා ප්‍රමාණයෙන් ලොකුයි, එතකොට තටු ලොකු නිසා ලොකු වේගයකින් තටු ගසන්න උවමනාවක් නැහැ, නමුත් පැණි කුරුල්ලා ප්‍රමානයෙන් පොඩි නිසා උගේ තටු ප්‍රමාණයට අහුවෙල වායු පීඩ්නය අඩු නිසා ඌ ඉතා වේගයෙන් තටු ගසන්න ඕන අහසේ රැඳිලා ඉන්න නම්.  අන්න ඒ වගේ තමා ඩ්‍රෝන් එකේ මොටර්  එකෙනුයි ඊට අදාල prop එකෙනුයි වෙන්නේ.. අපි හදන්න ඉන්න ඩ්‍රෝන් එකට අදාලව KV ගාන තෝරගන්න හැටි මම උඩ දාලා තියන වගූවේ තියනවා...

(KV වලට තව වැදගත් දෙයක් තියනවා මේක නම් ජනප්‍රිය උනේ දැනට ටික කාලෙකට කලින් ඉඳලා. ඒ තමයි Low KV මෝටර් වලට high voltage එකක් දෙන එක. මේක කරන්න නම් මෝටර් එක High voltage support කරන මෝටර් එකක් වෙන්න ඕන. උදාහරනයක් කියනවා නම් අපි සාමන්‍ය‍යෙන් 5inch ඩ්‍රෝන් එකකට 4S බැටරියට 2300 - 2600KV වගේ මෝටර්ස් පාවිච්චි කරන්නේ, ඒ වෙනුවට 6S බැටරි එකක් දාලා 1600 - 1800KV වගේ මෝටර් පාවිච්චි කරන්න පුලුවන්, මෙතනදි මෝටර් එකේ Torque එක එහෙම නැත්තන් බලය ගොඩක් වැඩියි. )

03 ) Motor Voltage එක සහ Current Draw එක.....

Motor Voltage එක ගැන නම් ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. අපි මෝටර් එක ගද්දී ඒකේ විස්තරවල දාලා තියනවා උපරිම දෙන්න පුලුවන් voltage එක කීයද කියලා. එතකොට අපි පාවිච්චි කරන බැටරියට අදාලව මෝටර් එක ගන්න තමයි තියෙන්නේ.  මෝටර් එකට නියමිත voltage එකට වඩා වැඩි පුර දුන්නොත් අනිවාර්යයෙන්ම මෝටර් එක පිච්චෙනවා..

මෝටර් එකේ Amp drawer එක නම් අපි බලන්න ඕන අපි ඩ්‍රෝන් එකට බැටරියක් සහ ESC තෝරගද්දි තමයි,  මං ඒ ගැන බැටරි ලිපියෙදි පැහැදිලි කරන්නම් වැඩිපුර..
මෝටර් එක ගද්දී ඒකට අදාවල විස්තර වල මෝටර් එක ඒ ඒ Throttle speed වලදී කොච්චර amperage එකක් පාවිච්චි වෙනවද කියලා තියනවා.


04 )  Motor Thrust එක
මෝටර් එකක thrust එක කියන්නේ ඒ මෝටර් එකට උස්සන්න පුලුවන් බර ප්‍රමාණය. හැම මෝටර් එකකටම උස්සන්න පුලුවන් නියමිත බර ප්‍රමාණයක් තියනවා, ඒක නොදැන අපි මෝටර් තේරුවොත් සමහර විට අපේ ඩ්‍රෝන් එක උඩ යන එකක් නෑහැ..

මොටර් thrust එක අපිට හොයාගන්න ටිකක් අමාරුයි. ලේසිම ක්‍රමය මෝටර් එක ගද්දී ඊට අදාල සයිට් එකේ මෝටර් එකේ විස්තර වල thrust එක කොච්චරක්ද කියලා දාලා තියනවා.. අන්න ඒ thrust එක ඔලුවේ තියාගෙන තමයි අපි ඩ්‍රෝන් එක හදන්න ඕන. මොකද මෝටර් එකට උස්සන්න පුලුවන් බරට වඩා වැඩි බරක් ඩ්‍රෝන්  එක තිබ්බොත් ඒක උඩ යන්නේ නැහැ කියලා ඕන කෙනෙක්ට තේරෙනවනේ..

මම පෙන්නනම් thrust chart එකක්. මේ තියෙන්නේ iFlight XING-E 2207 1700KV කියන මෝටර් එක 24V (6S) බැටරියකදී thrust එක ග්‍රෑම් වලින් එන හැටි..



මෙතන එකිනෙකට වෙනස් prop දෙකකට thrust  එක එන හැටි තමයි පෙන්නලා තියෙන්නේ. 5045 / 5043 කියන prop දෙකට thrust එක හැදෙන්නේ මෙහෙමයි. මෙතන රතු පාටින් තියෙන්නේ අපි throttle කරන ප්‍රමාණය. කොල පාටින් තියෙන්නේ ඒ throttle එකට අදාලව මම උඩ කියපු amp drawer එක. නිල් පාටින් තියෙන්නේ throttle ප්‍රමාණයට අදාලව මොටර් එකෙන් උස්සන්න පුලුවන් බර ග්‍රෑම් වලින්.

මේ මෝටර් එකේ 5045 prop එකට 100% throttle වලදී 1632g උස්සන්න පුලුවන්, ඒ කියන්නෙ මෝටර් හතරෙන්ම 6528g (6.5KG) උස්සන්න පුලුවන්. අන්න ඒක තමයි උපරිමය, හැබැයි එහෙම කියලා ඒ ප්‍රමාණයට ලන් කරලා අපිට ඩ්‍රෝන් එක හදන්න බැහැ.

ඩ්‍රෝන් එකක් හදද්දී මෝටර් වල thrust එකට අදාලව ඩ්‍රෝන් එකේ මුලු බර එන්න ඕනි අනුපාතයක් තියනවා, ඒ අනුපාතයට ලන් වෙන්න තියනවා නම් තමයි අපි හදන ඩ්‍රෝන් එකේ උපරිම වැඩ ටික ගන්න පුලුවන් වෙන්නේ.. 

සාමාන්‍ය Videography ඩ්‍රෝන් එකක් නම් 1:3 අනුපාතය තියෙන්න ඕන. ඒ කියන්නේ ඩ්‍රෝන් එක 1KG බරයි නම් මෝටර් තුනෙන් අවම 3KG උස්සන්න පුලුවන් thrust එකක් තියෙන්න ඕන..

FPV Freestlye ඩ්‍රෝන් එකක් නම් අවමය 1:6 හෝ ඊට ඉහල අනුපාතයක් තියෙන්න ඕනි හොද freestyle අත්දැකීමකට නම්. FPV Racing එකක් නම් 1:10 අනුපාතයක්වත් තියෙන්න ඕන හොද race එකක් දිනන්න ඉන්නවා නම්..

ඔන්න ඔය ටික තමා ප්‍රධාන වශයෙන් අපි මෝටර් එකක් ගන්නවා නම් බලන්න ඕනි කරන කරුණු ටික.  තව අමතරව පොඩි පොඩි දේවල් ටිකක් තියනවා මම ඒ ටිකත් මේ එක්කම කියන්නම්...

Bottom වර්ගය..
ඒ කියන්නේ මොටර් එකේ යට කොටස පිහිටලා තියන හැටි. මේක closed bottom / naked bottom කියන වර්ග දෙකෙන් තමයි එන්නේ. closed bottom එකේදි මෝටර් එකේ යට පැත්ත ශක්තිය පොඩ්ඩක් වැඩී අනිකට වඩා ඒ එක්කම බර ග්‍රෑම් ප්‍රමාණයකින් වැඩි, රොඩු , මඩ වගේ දේවල් මෝටර් එකට ගියොත් අයින් කරන්න ටිකක් අමාරුයි.. naked bottom එක අර ටිකේම අනිත් පැත්ත, හැබැයි naked bottom එකේදී මෝටර් එකේ යට පැත්තේ කොයිල් ටික ඔක්කොම එලියේ නිසා කොයිල් පලුදු වෙන්න තියන ඉඩත් වැඩී...


Bottom Clip වර්ගය...
මෝටර් එකේ bell එක එහෙම නැත්තන් උඩ කොටස මෝටර් එකේ base එකට හයි කරලා ලොක් කරන්නේ මේ clip එකෙන් තමයි. ගොඩක් මෝටර් වල C clip කියලා පොඩි clip එකකින් තමයි මේක වෙන්නේ. සමහර මෝටර් වල නම් මේ clip එක වෙනුවට පොඩි ඇණයක් එනවා. මේ දෙකේ නම් ලොකුවට වාසි අවාසියක් නැහැ, C Clip එක පොඩ්ඩක් ගලවන්න අමාරුයි..


Prop එක හයි කරන ක්‍රමය...
මේක නම් ඉතින් 95%ක් විතර මෝටර් එන්නේ prop එක දාලා නට් එක කරකවලා prop එක හිරකරන්නනේ. හැබැයි ඕක Race වලදී එහෙම ගොඩක් කරදර වැඩක්. ඒ නිසාම මෝටර් හදන අය අලුත් තාක්ශනයක් ගෙනාවා POPO Motors කියලා.  මේ popo මෝටර් වලදී Motor Thread එකට අමතරව පොඩි ලොක් තුනක් එනවා. එතකොට මේ popo වලටම ගැලපෙන popo prop එකක් නම් අර ලොක් තුනට වැටේන්න කට්ට තුනක් prop එකෙත් තියනවා. එතකොට නට් කරකවා කරකවා ඉන්න ඕන නැහැ ලේසියෙනම prop එක හිරකරන්න විතරයි තියෙන්නේ..

POPO only Motor

POPO & Thread Motor

හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි මෝටර් ගැන පැහැදිලි කරන්න තියෙන්නේ.. අපි ඊලගට බලමු ඩ්‍රෝන් Flight controllers ගැන..

මේ තියෙන්නේ දැනට ගන්න පුලුවන් හොද තත්වයේ මෝටර් කිහිපයක්...


.....


මේ ලිපියේ සමහර ෆොටෝස් මම උපුටාගත්තේ Oscar liang ගේ web site එකෙන්. එයාගේ web site එක තමා දැනට මේ විදිහට ඩ්‍රෝන් ගැන හොදම ලිපි පල කරන සයිට් එක. මම පෞද්ගලිකව එයාගෙන් අවසර අරන් තමයි ඒ ෆොටෝස් පල කරේ. එයාටත් ඒකට ස්තූතියි..

මේ එයාගේ සයිට් එක. oscarliang.com